Friday, January 28, 2011

෴මෙහෙමත් ෆීල්ඩ් සර්විස් ෴


මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියන දෙවනි පෝස්ට් එක...

මේකනම් අපේ අයියා මට කියපු කථාවක්.මේක වෙලා තියෙන්නේ අපේ අයියාගේ යාලුවෙක්ගේ යාලුවෙක්ට..අපි මේ අයියාට කියමු ධනූ කියලා.. ධනුට හිටියා ගැණූ ළමයෙක් එයා හිරූ.ඔන්න ඉතින් දැන් මෙයාලාගේ සම්බන්දේ නැගලා යනවා..ඔහොම කාලයක් ගියාම ධනූට ඕන වෙනවා හිරූලාගේ ගෙදර එන්න.. එත් ඉතින් එකපාරටම එහෙම එන්න බෑනේ.. මෙයාට රස්සාවකුත් නෑ.. ගෙදරින් පන්නයි එහෙම ගියොත්. ධනූ ඉතින් දහ අතේ කල්පනා කරල කරලා කරලා බැරිම තැන මෙයා ගියා මෙයාගේ යාලුවෙක් හම්බ වෙලාවත් විසදුමක් ගන්න.මෙයා ඉතින් දවසක් චුටිවත්(ධනූගේ හොඳම යාළුවෙක්) එක්කන් ගියා  බන්ඩිව හම්බවෙන්න.. ඉතින් දැන් කට්ටියම කථා බහ කරලා අන්තිමේ තිරණයක් ගත්තා හිරූගේ ගෙදර යන්න..



ඔන්න ඉතින් දවසත් ආවා මෙයාලා යන්න හදන්නේ ප්‍රසිද්ධ ෆෝන් කම්පනියක ෆිල්ඩ් සර්විස් එන කට්ටියක් වගේ.. බන්ඩි ෆොන් වැඩ වලට දක්ෂයා.. චුටිත් ඉතින් ඔවරෝල් එකක් එහෙම ඇදගෙන වැඩේට ලෑස්ති උනා..
ධනූත් ටයි පොල්ලක් එහෙම දාලා මෙයාලාගේ සුපර්වයිසර් විදියට හිටියා..එතකොට ඉතින් ලකුනු වැටෙනවානේ.ඔන්න ඉතින් කොහෙන්දෝ වෑන් කට්ටකුත් සෙට් කරගෙන, අර  ෆෝන් කම්පනි එකේ වැඩ කරන යාලුවෙක් දුන්න බෝඩ් ලැල්ලකුත් එල්ලගෙන හිරූගේ නිවස බලා  මෙයාලා දැන් ගමනේ යා..යන්න කලින් හිරූට කියලා ගෙදර ෆොන් එකේ අර පිටිපස්සේ තියෙන වයර් එක ගලවන්න කියලා කාටවත්ම නොපෙනෙන්න.. කෙල්ලත් ෂෙප් එකේ වැඩේ දීලා දැන් ඉතින් ෆෝන් කම්පනියට කෝල් කරන විදියට ධනූටත් කෝල් කරලා මග බලන් ඉන්නවාලු.. කොහොම හරි හිරූයි එයාගේ අම්මායි විතරයි එදා ගෙදර ඉදලා තියෙන්නේ.. දැන් ඉතින් අපේ කස්ටියක් ගෙදරට ඇවිත් ඇඩ් එක දාගෙන වැඩේ පටන් ගත්තාලු.. අනේ ඔතින් ධනූගේ වෙන්ඩ නැන්දම්මාත් බීම එහෙම හදලා දෙනවලු..දැන් ඉතින් අපේ අයියලා සෙට් එකත් ෆොන් එක මස් කරගෙන බොරුවත වයර් වල පාට, සයිස්, අනං මනං බල බල ඉන්නවලු.. ධනූ පුටුවකට වෙලා හිරූගේ අම්මාත් එක්ක කථා කරනවාලු..

"මොකෝ පුතේ වෙලා තියෙන්නේ?"

"මේකයි ඇන්ටි මොකක් හරි ඇතුලෙන් කේස් එකක් තියෙනවා. අපි මේ ෆොන් එක ගෙනියන්නේ නැතිව මෙහෙ ඉදන්ම හදන්න පුලුවන්ද කියලා තමා බලන්නේ.."

හ්ම්ම්...

කොහොමින් හරි ඉතින් කට්ටියම පැයක් විතර බොරුවට දඟල දඟල ඉන්නවාලු.ටික වෙලාවකින් මෙයාලාට ඇහෙනවාලු ජීප් එකක් එන සද්දයක්..  කට්ටියටම හීන් දාඩිය දැම්මාලු..

ඔන්න ඉතින් ජීප් එක මිදුලටම ආවාලු.. කට්ටිය ෆුල් හොල්මන් වෙලා ගල් ගැහිලා ඉන්නවාලු.. මෙන්න එනවලූ තරු 5ක් 6ක් ගහ ගත්ත පොලිස් මාමෙක් දිලිසි දිලිසි..

"ආ.. කවුද මේ කට්ටිය"

"අපි මේ XXX එකෙන් අපිට කෝල් එකක් ආවා ෆොන් එකේ අවුලක් කියලා.චෙක් කරලා බලන්න ආවේ."

"ආ දැන් හරිද වැඩේ?"

"හරි, ෆෝන් එක දැන් සෙට්ල් කලා.. දැන් වැඩ.. අපි එහෙනම් ගිහින් එන්නම්.."

"ඕකේ"

අයියලා සෙට් එක හිමින් සීරුවේ වෑන් එකට නැගලා අවිත්..ගෙදර ඇවිත්  හිරූට කෝල් කලා

"කවුද  ඒ ආවේ ඔයාලගේ නෑදෑ කෙනෙක්ද?"

"නෑ ධනූ ඒ අපේ තාත්තා.."

ඒ අවස්ථාව බන්ඩියාගේ වචනයෙන්..
"යකෝ මන් ජීවිතේට ඒතරම් ස්පීඩ් එකකින් ෆෝන් එකක් සෙට් කරලා නෑ.. මන් හිතුවා බඩුම තමා කියලා.බලපන් මං හිතුවේම අපිව මාට්ටු වෙයි කියලා.නොදකින් අර ධනුවා ඌ දැන ගන්න එපැයි මාමණ්ඩියා පොලිස් කාරයෙක් කියලා.."


ප.ලි -  මේ කථාව ඇදිලා ආවේ අපේ අයියාත් මේ දවස් වල ඔය වගේ වැඩක් කරන්න හදන නිසා.. ඊට පස්සේ ධනූගෙයි හිරූගෙයි කථාවට මක් උනාද කියලා නම් මං දන්නේ නෑ..

Tuesday, January 25, 2011

෴පුෂ්පේගේ චිකන් කොත්තු෴

ඔන්න ඉතින් බස් බ්ලොග් සතිය වෙනුවෙන් මමත් පෝස්ට් දෙක තුනක් දාන්න හිතුවා.


අපේ පොඩි මස්සිනාට තියෙනවා සුදු යකඩ වැඩපොළක්..අර ත්‍රීවීල් වල බාර්,එක එක ගැජට් හදන.දැනට අවුරුදු 4කට විතර කලින් ඕකේ වැඩට ආවා පොඩි කොල්ලෙක්.නම පුෂ්පකුමාර.හැමෝම ලේසියට පුෂ්පේ කියලා තමා කථා කලේ..මිනිහා හෙන බයිටක්..ජොකර් කෙනෙක්වගේ තමා හැසිරෙන්නේ.. වැඩ ටික හැබැයි හරියට කරගෙන හිටියා.හදිස්සියට කඩේට එහෙම යවන්න ඕන උනාම මිනිහා පැනගෙන එන්නේ මොකද ඉතුරු සල්ලි වලින් කඩචෝරු කන්න පුලුවන්නේ..ඉතින් ගොඩාක් වෙලාවට හන්දියේ ෆාමසියට තමා මිනිහාව යවන්නේ නැන්දාගේ බෙහෙත් ගෙන්න ගන්න.

දවසක් දා රෑ අපේ අක්කාට කොත්තු බඩගින්නක් ඇවිත් මෙයාව හන්දියට යවන්න කථා කරලා කිව්වා චිකන් කොත්තු අරන් එන්න කියලා සල්ලි දීලා.මිනිහත් මාර සතුටකින් සල්ලිත් අරන් දඩුමොනරේ නැගලා ගියා.පැය බාගයක් ගියා තාමත් නෑ..ගොඩාක් කට්ටිය ඇති කියලා අක්කාත් දැන් බලා ඉන්නවා. කොහොමින් හරි පැය 2ක 3ක්ම ගියා.. මිනිහා නෑ.. අන්තිමට ලඟ කඩෙන් පාන් ගෙනත් කාලා අක්කලා නිදාගන්න ලෑස්ති උනා.මෙන්න බොලේ 10ට විතර මිනිහා එනවා වාහනේකට අහුවෙච්ච කජු පුහුලමක් වගේ මූණත් බෙරි කරගෙන.
අයියාට කේන්ති ගිහින්,

"මොකද මනුස්සයෝ මෙච්චර වෙලා කලේ?"

"මං හැමතැනම හෙව්වා මහත්තයා"

"ඇයි කඩ ඔක්කොම වහලාද?"

"නෑ මහත්තයා ඇරලා තිබ්බ හැම කඩේකින්ම ෆාමසියකින්ම ඇහුවා..කොහේවත් තිබ්බේ නෑ.."

"ඇයි මිනිහෝ තමුසෙට ෆාමසි ගානේ යන්න කිව්වේ කවුද?පිස්සුද?"

"නෑ මහත්තයා මේකයි උනේ. මං හන්දියේ කඩේට ගියා..එකේ නෑ කිව්වා.ඊට පස්සේ එහා පැත්තේ කඩෙනුත් ඇහුවා... ඒකෙත් නෑ.ඒ පාර  තව කඩේකින් ඇහුවාම කිව්වා ෆාමසියකින් අහන්න කියලා..ඒකෙත් නෑ කිව්වා..ඉතින් මන් මහරගමටත් ගියා.. එහෙත් නෑ කිව්වා."

දැන් අයියාට හොඳටම කේන්ති ගිහින්.

"දැන් තමුසේ ෆාමසිවල බඩගෑවේ මොනවා ඉල්ලන්නද?"

"ඇයි මහත්තයා මහත්තයා මට කිව්වේ චිකන් පොතු එකක් ගේන්න කියලානේ.. ඉතින් මන් හැම තැනම චිකන් පොතු හෙව්වා."

"හි හී හී.. මන් කිව්වේ චිකන් කොත්තු ගේන්න කියලා මිසක් චිකන් පොතු ගේන්න කියලා නෙමෙයි.හා..හා.. දැන් ගිහින් නිදාගන්න
වා.මීට පස්සේ හරියට අහගෙන යනවා.කුලප්පු වෙලා දුවන්නේ නැතිව."

"හොඳයි මහත්තයා..."

අයියාට හොඳටම හිනා..මිනිහා චිකන් කොත්තු කියන එක චිකන් පොතු කියලා අහන් ගිහින් හැමතැනම චිකන් පොතු හොය හොයා ගිහින්.අන්තිමට සෑහෙන්න කාලයක් මිනිහාව බයිට් කලා ඇතුලේ සෙට් එකම ,

"ආ... පුෂ්පේ චිකන් පොතු ගේමුද..?" කියලා අහ අහා..

ඒ වෙලේට ඉතින් මිනිහා -  @#$%&#$@


Saturday, January 22, 2011

෴ ඉකි බිදින මගේ සිත ෴


 
යෝජනාවකින් සම්මත වී,
පෝරු මස්තකව
නුඹට බාර වී
දහස් ගණනක් පැතුම් පිරී
ඒ පලමු රාත්‍රිය
නුඹේ බේබදු මිතුරන්
නිසාවෙන් අහිමි වී 
ගිය සඳ
ඉකි බිදින මගේ සිත....!


Monday, January 10, 2011

෴ පාළුව෴



හැමදාම තරු පිරිලා
තියෙන අහසේ
අද එක තරුවක් අඩුයි
දහසක් තරු එළිය 
තිබුනත්,
එකම එක දීප්තිමත් තරුවක
එලිය නැතිව
මුළු අහසම
අමාවක රෑක වගේ 
අඳුරුයි.....

ප.ලි - හිටිගමන් ලොකු පාළුවක් තනිකමක් දැනුනා.... හිතට ආපුදේ තමා මේ..ගැලපීමක් නැද්ද මන්දා...

Saturday, January 1, 2011

෴ නව වසරට ආසිරි ෴


සියළු දෙනාටම සතුට,ආදරය පිරි,නිදුක් නීරෝගී,සියලුම සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..! 

මේ සතුට,ආදරය මේ අවුරුද්දට විතරක් සීමා නොවී හැමදාටම රැදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...! 

හැමෝටම ජයවේවා....!


පුංචි දෙයකුත් කියලාම යන්නම්...

හිතේ නැගෙනා දහසක් අදහස්
වචන කිහිපයක දවටා
කුරුටු ගෑ හසීගේ සිතිවිලි
50 වන සටහනත්
කුරුටු ගාමි තුටි සිතින්...



නම් වශයෙන් නොකිව්වත්, අද වෙනකම් මේ පැත්තට ඇවිත් කමෙන්ට් කරපු හැමෝමත්, මාව එයාලාගේම සහෝදරියක් කරගත්ත හසී පවුලේ අයියායි මල්ලිලා දෙන්නයි, ආපු ගියපු සියලුම සහෝදර සහෝදරියන්වත් ආදරයෙන් මතක් කරනවා..ඉදිරියටත් මගෙත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.. 


සියලුදෙනාටම හිස නමා ආචාර කරමින් මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා...!