Wednesday, December 28, 2011

෴ මෙහෙමත් ගල් ඉබ්බෝ ෴





අද බොහොම රසවත් ඒ වගේම අවධානයට ලක් විය යුතු දෙයක් ගැන කියන්න තමා මේ ලැස්ති වෙන්නේ... ඔන්න ඉතින් වෙනදා වගේම උදේම නැගිටලා ලැස්ති වෙලා වැඩට යන්න මම බස් හෝල්ට් එකට ගියා. මේ දවස් වල ට්‍රැෆික් නැති නිසා බස් ජෙට් වගේ යනවා.. ඉතින් වට පිටේ චැනල් එක දාගෙන බස් දෙක තුනක් යනකම්, ලස්සන, සෙනඟ නැති බස් එකක් එනකම් මම බලා හිටියා.. ඉතින් කොහොමින් හරි බසයකටත් නැග්ගා කියමුකෝ. බස් එකේ ඉඩ තියෙන තැනකට ගිහින් හිටගත්තා මමත්.බස් වල යනකොට  මම ගොඩාක් වෙලාවට උඩ රැක් එකට  හෑන්ඩ් බෑග් එක  දානවා.. නැත්නම් එක්කෝ බෑග් එක, එහෙමත් නැත්නම් මාව අරගෙන තමා  බහින්න යන කස්ටිය යන්නේ.. සෙනඟ ගොඩේ බෑග් එක දාගෙන ඉන්නත් අමාරුයි. ඉතින් අදත් සුපුරුදු විදියට රැක් එකට බෑග් එක දාන්න බැලුවත් ඒ රැක් එක කවදාවත් පිහිදලා නැති බව පේන නිසා මම අමාරුවෙන් බෑග් එකත් එල්ලගෙන ඉද්දි, මගේ ළඟ සිට් එකේ ඉඳගෙන හිටි මනුස්සයා මගෙන් බෑග් එක ඉල්ලුවා..ගොඩාක් වෙලාවට බෑග් එක මම එහෙම දෙන්නේ නෑ, ගෑනු කෙනෙකුට ඇරෙන්න.උස්සන් ඉන්න බැරි නිසාම බෑග් එකේ එළියේ පොකට් එක උඩ අතට තියෙන විදියට මම බෑග් එක ඒ මනුස්සයාට දුන්නා.මේ මනුස්සයා එක යට අතට හිටින්න තියා ගත්තා.. මට ඒක එච්චර ඇල්ලුවේ නෑ.. මමත් ඒ පැත්තට ඇහැ ගහගෙනම හිටියා මොකද මගේ ෆෝන් ඒක තිබ්බේ එළියේ පොකට් එකේ...(මගේ දුප්පත් ෆෝන් ඒක මොනා නැතත් මට වටිනවා, ගෙදර ඉද්දි ඉන්ටර්නෙට් වගේ ගෙදරින් එළියේදී කොච්චර වද දුන්නත් ෆෝන් ඒක මට ගොඩාක් වටිනවා මේ දවස් වල) මෙන්න බොලේ ටිකකින් මේ මනුස්සයා හිමිට ඒක අතක් මගේ බෑග් ඒක යටට ගත්තා.. ඒ කියන්නේ එළියේ පොකට් එකේ සිප් ඒක ලඟට.මම හොරෙන් හැමදේම බලාගෙන ඉන්නවා.

 මේ මිනිහා හෙමින් වට පිට බලනවා.. ටික වෙලාවකින් හිමින් අත එහෙ මෙහෙ වෙනවා, මම දැන ගත්තා හරි තමා මගේ බෑග් එකේ පොකට් එකට වැඩේ වෙන්න තමා යන්නේ කියලා.. මමත් දෙන්නම් ජම්බු කියලා හිතලා කලබල නොවී හිමින් බලා හිටියා මොකෝ වෙන්නේ කියලා.. ඒක පාරටම සිප් ඒක අරින්න බැරි නිසා හිමින් හිමින් මිනිහා ගේම දෙනවා.. තව චුට්ටක් බලා හිටපු මම එක්ස්කියුස් කරලා බෑග් ඒක මේ පැත්ත හරවලා මේ වෙනකොටත් බාගෙට ඇරලා තිබ්බ සිප් ඒක ඇරලා මගේ ෆෝන් ඒක ගත්තා. ඊට පස්සේ ආයේ සිප් ඒක වහලා මම නෙමේ වගේ ෆෝන් ඒක පොඩ්ඩක් ඔබලා මගේ සාක්කුවට දාගෙන හිතින් අර මිනිහාට හිනා වේවි හිටියා.. ආව මෙතන මගේ දේවල් හොරකම් කරන්න ගල් ඉබ්බා. ඔයාලාට මතකත් ඇති කලින් මගේ චේන් ඒක කඩාගන්න හදපු හොරාට වෙච්චි දේ... මෙයාටත් එකම තමා උනේ.. හසී එක්ක සෙල්ලම් බෑ ;) 



කොහොම උනත් ඔයාලාත් බස් එකේ යද්දී බෑග් ඒක කාට හරි දුන්නොත් පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න, පිරිමි ගෑනු කියලා නෑ හොරකම් කරද්දී.

ප.ලි - මේ ෆොටෝ එකේ ඉන්න හොරාගේ වගේ අතේ පිහියක්නම් තිබ්බේ නෑ එහෙනම් හසී අනිවා දෙපාරක් හිතනවා.. :)

Monday, December 26, 2011

෴ අඟුළු වැටුන සිතුවිලි ෴




හිතේ තියෙන ගොඩාක්  සිතුවිලි  වලට  
අඟුළු වැටිලාද මන්දා... 
ලියන්න දෙයක් හිතා ගන්න බෑ..  
ඒත්  සිතුවිලි  ගොඩාක් හිතේ තෙරපෙනවා,  
හර බැර අස්සේ ජිවිතේ හිර වෙලා,  
සිතුවිලි පස්සට ගිහින්වත්ද... 
ජිවිතේ ඒකාකාරීයි  කියලා  
මොහොතකට හිතුනත්,  
හරිම සතුටින් ගෙවෙනවා  
මේ දවස්.. 

Tuesday, December 13, 2011

෴ පුංචි කිරිල්ලියක් ෴



පුංචි කිරිල්ලියක් 
දෑස් විදහා අහස් කුසට 
සිතුවා ඉගිලෙන්නට නිදහසේ
හිමින් හිමින් පියවර ඔසවා 
අත්තටු සලා සැරසිලා 
ඇරඹුවා ගමන සීරුවට 
සැරිසරන්නට සතුටින් අහස පුරා...




ප.ලි. උදේ ජනේලේ අස්සෙන් දැකපු කුරුල්ලෙක් ගැන මට හිතුන දෙයක්...

Thursday, November 10, 2011

෴ ඩොකිගේ බස් චාරිකා ෴


හා හා කට්ටිය වැරද්ද ගන්න එපා මේ ගුගල් බස් නෙමේ.. ඇත්ත බස්.. ලංකාවේ අපේ බස්.. හික් හික්..

ඔන්න ඉතින් ඩොකි උදේ පාන්දරින්ම නැගිටගෙන ගමනක් යන්න ලැස්ති වෙලා.. හරි හරි පැයක් විතර ලැස්ති උනේ නෑ.. මම සාමාන්‍යයෙන් ඉක්මනින් ලැස්ති වෙනවා..(ඇඩ් එකක්ද මන්දා) මගේ මල්ලත් එල්ලගෙන ඔන්න පිටත් උනා ගෙදරින්.. 120 බස් පාරට ටිකක් පයින් ඇවිදින්න ඕන. ඉතින් මම උදේ පාන්දරම  වටපිටේ සිරි නරඹ නරඹා ඇවිදගෙන යනවා.. ඔහොම ඇවිත් යන්තම් පාරත් පැනගෙන බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා.. අම්මේ ඔෆිස් යන අයියලා, අක්කලා, නැන්දලා, මාමාලා, ආච්චිලා, සීයලා ඔක්කොම උදේ පාන්දර පවුඩර්, මේකප්, ජෙල්,ක්‍රීම්, මෙකි නොකී සෑම දෙයක්ම මුණේ, ඔලුවේ  තවරාගෙන ඉන්නවා.. හෆ්ෆේ මම හිතුවේ වැරදිලා මම වෙන ලෝකෙක ඉන්නවා කියලා.. ටිකක් ඉද්දි මෙන්න එනවා බසයක්.. 



හෆ්ෆා බස් එක පැත්තට ඇල වෙලා.. නගින්න තියා හිතන්නවත් බෑ.කට්ටියක් බස් එක නවත්තද්දී ලඟට ගියාත් එකේ බහින කෙනෙක් නෑ වගේ.. හිටියත් බහින්නේ කොහොමද සැමන් පැක් කර‍ලා වගේ.ඔහොම ඉද්දි තව බසයක් ආවා යන්තම් ෆුට් බෝර්ඩ් එකේ මමත් එල්ලුනා. ෆුට් බෝර්ඩ් එකේ ගිහින් පොඩි එක්ස්පිරියන්ස් එකකුත් තිබ්බා මට,, යන්තම් ඇතුලට යා ගන්න ඉඩ හම්බුනා, මම ෆුට් බෝර්ඩ් හිටියොත් මට ෆලයින් ලයිසන් හම්බවෙයි කියලාද කොහෙද.. ඔන්න ඉතින් යන්තම් ඇතුලට රිංගගෙන බස් එකේ මැද්දේ පෝලිමේ මමත් සැමන් ටින් එකක් ඇතුලේ ඉන්න මාළුවා වගේ පැක් උනා. ඒ කිව්වේ එතනින් එහාට කොහේටවත් යන්න තියා හෙල්ලෙන්නවත් බෑ, එක පොදියට ඒ අතට මේ අතට පාවී පාවී ගියා ටික දුරක්.. 


ඔන්න ටිකකින් අක්කා කෙනෙක් ඔරුවක්‌ වගේ බෑග් එකක් ගෙනවිත් මගේ කොන්ද උඩ, හෆ්ෆා හෙලවෙන්න බැරි මම කොහොමද මේ බර කරගහන්නේ.. යන්තම් ෆිට් එක අරගෙන එහෙට මෙහෙට හෙලවෙන්න බැලුවා ,මොන හෙලවෙනවා තියා හිතන්නවත් බෑ. කොහොම හරි ඒ බරත් කරේ තියාන ටික දුරක් යද්දී කොන්දොස්තර මාමා සල්ලි ඉල්ලනවා.. වෙලාවට බස් එකට නගින්න කලින් අතට සල්ලි ගත්තා.. "ටිකට් ගන්න.. ටිකට් ගන්න.." කිව්වාට මොකෝ ටිකට් නම් හම්බුනේ නෑ.


මොනා උනත් බසේ යද්දී උල් කටුවක් අරගෙන යන ඒක ශරීරේට ගුණයි කියලා මම නිර්දේශ කරනවා. මොකද සමහර මිනිස්සු කෙලින් හිටගෙන යන්නවත් බැරුව ඉද්දි කරන වැඩ නම් කියලා වැඩක් නෑ.. සමහරුන්ට හරිම විනෝදයක් ඒක..හෙලවෙන්න බැරි බස් එකේ අනවශ්‍ය ප්‍රයෝජන ගන්න ඒක එයාලාගේ පුරුද්ද වෙන්න ඇති.. 


ටිකක් දුර යද්දී සෙනග බැහැලා යද්දී මමත් කෙලින් හිටගෙන වටපිට පොඩ්ඩක් බැලුවා.. මගේ එහා පැත්තේ එළු රැවුලක් වවපු සුදු අයියා කෙනෙක් නැළවෙනවා... ඈ.. මේ මොකෝ මේ...??? ආ මෙයා සින්දු අහනවා.. ජස්ටින් මල්ලි ලෝබි ලෝබි කියනවා මට ඇහුනා.. මෙයා එක අහ අහ නැළවෙනවා.. බස් හෝල්ට් එකේ ලස්සනට හිටියාට මොකද බසේට නැග්ගාට පස්සේ කට්ටියගෙම මේකප් දිය වෙලා ඔලුවේ තිබ්බ ජෙල්, තෙල් එක්ක මික්ස් වෙලා  කළු වෙලා, දාඩිය පෙරාගෙන.. එතරම් හොඳයිනේ අපේ බස් සේවය.. ;) 


යන්තම් ගමනාන්තෙට ඇවිත් මම බැහැගත්තා.ඒ යද්දී හිතුවේ ජිවිතේ මල් කියන  දිල් අක්කා යනවා වගේ බස් එකේ යන එකත් එක්තරා විදියට රස්තියාදු චාරිකාවක් නේ කියලා.. හි හි :)


 එහෙනම් හම්බවෙමු තවත් ඩොකි ගේ චාරිකාවක් එක්ක..



Monday, November 7, 2011

෴ මගේ පුංචි යාළුවෝ ෴

හසී පුංචි එන්නකෝ ඩිෂුම් සෙල්ලම කරන්න..


පුංචි ගේම් එකක් දාලා දෙන්නකෝ...



නිවාඩු දවසක ආරම්භය හැමදාම ඔහොම තමා.. වෙන කවුරුවත් නෙමේ අක්කාගේ පුතාලා දෙන්නා.. හෆොයි මෙහෙමත් ජෝඩුවක්‌... මාවම තමා අල්ලගන්නේ... මම තාම එයාලා සයිස් කියලා හිතාගෙන ඉන්නේ... ඉතින් අද සටහන ඒ දෙන්නා ගැනයි...



මේ ඉන්නේ සෙනුල්.. මෙයා තමා චිත්‍ර අදින්නේ.. ඔයාලාට මතකත් ඇති.. තාම තුන වසරේ... අම්මේ ඒ උනාට කටනම් 10 වසරේ වගේ.... මෙයා ගැන මගේ මතකේ තියෙන අදටත් කට්ටිය මතක කර කර හිනාවෙන දේ තමා.. මෙයා පුංචි කාලේ කියලා තියෙනවා අම්මේ මම හරි ආසයි හසී පුංචි මාව වඩාගන්නවාට එතකොට මට එයාගේ බෙල්ල බදාගෙන ඉන්න පුළුවන්.. ඒ මොකෝ පුතේ ඒ... එයාගේ බෙල්ල සුදු....යි... හිකි හිකි ;)



මේ ඉන්නේ යෙනුල, මෙයා තමා පුංචි චණ්ඩියා.. තාම අවුරුදු 4 යි. නර්සරි යනවා..  හෆොයි මෙයානම් ඇඟේ එල්ලුනොත් බිමින් තියෙනවා බොරු... වඳුරු පැටියෙක් වගේ කකුල් මාට්ටුවක් දාගෙන ඉන්නවා... මෙයා හැම තිස්සෙම කියන්නේ මම ඔයාට ගොඩාක් ආදරෙයි කියලා.. හිතුනාම වෙලාවකට බෙල්ල බදාගෙන උම්මා ගොඩක් දෙනවා.. අපේ පවුලේ වෙන කාටවත් එහෙම කරන්නේනම් නෑ.. අපේ අම්මලා මාව ගෙදරින් යවනවා කිව්වාම කියන්නේ එතකොට හසී පුංචි යන තැනට මමත් එනවා කියලා... බටු ඇටේ.. දොඩම් ගෙඩිය කිව්වම තරහා යනවා ගොඩාක්.. සින්දු කියන්න අහන්න ගොඩාක් ආසයි.. මෙයා ගැනත් මම කියලා ඇති..

ඔන්න මගේ පුංචි යාලුවන්ගේ තව පින්තුර කීපයක්..


"අනේ මාව වැටෙයි අල්ලගන්න" 
(මෙහෙම හිතුනාට ඇත්තටම බයේ හිටියේ අයියා )


මොන්ටිසෝරියක් බලන්න යන ගමන් 


මල්ලිගේ උපන්දිනේට අයියාගෙන් චුටි තෑග්ගක් 


අද තමා මම මුලින්ම ඉස්කෝලේ යන්නේ.. හයියෝ මේ බෑග් ඒක එල්ලගන්නත් බෑ 

Wednesday, October 26, 2011

෴ සමුගතිමි ෴



මෙතෙක් ආවත් දුරක්
එක් නැවතුමක නතර වන්නට 
සිදුවිය කෙසේ හෝ වෙන්වන්නට 
තවත් යා නොහැකි නිසාවෙන් 
මේ දෙමංසලේදී 
සමුගන්නෙමි මම... 


අපි සමහර වෙලාවට චුටි තුවාල ගණන් නොගෙන ඉන්නවා.. ඒත් අපිටත් නොදැනිම කාලය එක්ක ඒ තුවාල ටික ටික ලොකු වෙලා ඇඟ පුරාම දුවනවා.. එහෙම උනාම අන්තිමේ අපේ ජිවිතේ අහිමි වෙනවා.. ඉතින් එක තුවාලයක් ගොඩාක් වේදනා දෙන නිසාත්, එකෙන් ඉදිරියේදී ජිවිතේ ගොඩාක් නරක පැත්තකට ඇදෙන නිසාත් මම ඒක අයින් කරන්න තීරණේ කළා... මෙච්චර කල් නොදැනුනත් ඒ තුවාලේ වැඩියි කියලා හොඳටම තේරුනේ මට අපේ තාත්තා වැටුන දවසේ.. 


මතක්‌ කරන්න ඕන තාත්තා වැටුන දවසේ ඉඳං ඒ ගැන අහපු බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.. දැන් තාත්තාට ගොඩාක් හොඳයි.. හැබැයි වාරුවක්‌ නැතුව තනියම ඇවිදින්න නම් බෑ... ඔයාලාගේ හැම ප්‍රාර්ථනාවකටම ගොඩාක් ස්තුතියි!




අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.... 


පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..


පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..
හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්නම්.....
සේරුන් වුව ගයනා ගීයට විරාමයක් දේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්.......

එක සෘතුවකට පසුව.....
නව සෘතුවක් පැමිණේනම්
ගහ කොල මල් දලු ලා යායට
අලුතින් සැරසේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්...

පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..


හැමදාම මම අහන නදීක ජයවර්ධනගේ ලස්සන සින්දුවක් මේක.  බස් රේඩියෝවේ කට්ටියනම් සික් කියන සින්දුවක් හැබැයි ;)

Monday, October 17, 2011

෴ තවත් හැරවුමක් ෴





අත්වැල් පටලා මාවත දිගේ
ඔහේ ඇවිදන් ගිය කාලය
අවසානයි දැන්.......

මුහුදු වෙරළේ රළ ඔස්සේ
පාසටහන් තබමින් පියමැන්න
කාලය අවසානයි දැන්....

ඉකිබිඳින සිත සමඟ
ඉදිරියට පියනගන්නට
කාලයේ ඇරඹුමයි දැන්....

Friday, September 30, 2011

෴ බලාසිටිමි මම නිහඬවම ෴




හමන මද සුළඟ කුණාටුවක් මෙනි ගතට
වැටෙන හිරු රැස් ගිනි දැල් මෙනි ගතට
අඳුරු ලොවක නැවත තනිවී 
 බලාසිටිමි මම නිහඬවම...

Friday, September 9, 2011

෴ ඔබ නැතිදා ෴





දෙදරා ගිය ජීවිතය උසුලා ගන්නට ඔබ නැතිදා 
නොහඬමි මා කිසි දිනක, පසු නොබසිමි කිසිම විටක 
අවසානය ලඟා වනතුරු ජිවත් කරන්නෙමි මේ ජීවිතය 
නුඹ නිසාවත්, ආදරය නිසාවත් නොව 
මා වටා සිටින සැබෑම ආදරණියන් වෙනුවෙන්...

Wednesday, August 24, 2011

෴ නමක් නැති මහා කන්ද ඔබ අප්පච්චි ෴



අද උදෑසන හදිස්සියේම සීතලත් සමඟ අවදි වූ මා තව තවත් ගුලි වී හොඳින් පොරවගත්තේ වැස්සත් සමඟ තවත් දවල් වෙනතුරු නිදා ගැනීමේ අපේක්ෂාවෙනි. යන්තමින් නින්ද ගෙන එද්දී කෙඳිරිලි  හඩක් සමඟම "තාත්තා වැටිලා " යන අම්මාගේ කට හඩින් උඩ විසිවී ඇහැරුන මා සාලයට දිව්වේ කෙසේදැයි නොදනිමි. අයියගේ වාරුවෙන්  තාත්තා පැමිණ පුටුවක ඉඳගත් අතර, දණහිස හොඳටම ඉදිමි තිබුණි.

 මා සිත අතීතයට දිව ගියේ, එවකට මා පාසලේ හතර වන වසරේ ඉගෙනුම ලබන කාලයයි.සැමදා උදෑසන මා පාසලට ඇරලවා වැඩට යන තාත්තා නැවතත් දහවල් මා කැඳවාගෙන යන්නට පැමිණෙයි. දිනක් දහවල් තාත්තා නොපැමිණි අතර මදක් පමාවී මාගේ ලොකු මාමගේ පුතා පැමිණි අතර, අදටත් මට මතක ඇති අන්දමට මා විමසුවේ තාත්තා කෝ කියාය.තාත්තා ගෙදර කිව් අයියා මාව නිවසට ගෙන එනවා වෙනුවට ලොකු මාමාගේ නිවසට එක්කන් ගිය අන්දමද, එහි ගිය විට තාත්තා උදෑසන හදිසි අනතුරකට මුහුණදී රෝහල් ගත කල බව දැන ගන්නට ලැබුණි. උදෑසන මා පාසලට ඇරලවා වැඩට යද්දී බිමත් රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් දකුණු අත හා කකුල කැඩී ඔහු රෝහල් ගත කර ඇත.එවකට එතරම් තේරුමක් නොවූ මා දිගටම මාමාගේ නිවසේ නතර වුයෙමි. අත හා කකුල බැන්ඩේජ් වලින් ඔතා රෝහල් ඇඳ මත සිටි තාත්තා දුටු මාගේ ඇස් කඳුලින් බරවිය.. එකතැන් වූ තාත්තා, අම්මාගේ දිරිය නිසාම නැවත යතා තත්වයට පත්විය.

අද වැටුණු විට වැදී ඇත්තේ තාත්තාගේ දකුණු කකුලමය, කලින් සිදුකල සැත්කමේදී, යකඩ කුරක් දණහිසට දමා ඇති අතර, එය වැඩිම හේතුවෙන් එම කුර කැඩී ඇති බවක් පෙනෙන්නට විය,වහාම තාත්තා රෝහල් ගතකල අතර, සැත්කමක් සඳහා ඔහු දැන් රෝහලේ සිටි. 

අයියාගේ වාරුවෙන් එන තාත්තා දුටු මා ක්ලාන්ත වුයේ මගේ ලේ නහර තුල වූ ජිවය ඔහු නිසා වන්නට ඇත.කුඩා කල පටන් මාගේ මවට වඩා ඔහු මට සමීපව සිටි නිසා වන්නට ඇත.

තාත්තාට ඉක්මන් සුව පතමි!

Monday, August 1, 2011

෴ මෙයාලා දන්නා දේවල් ෴





පුතා : ආච්චි දන්නවාද හසී පුංචිට බාප්පෙක් ඉන්නවනේ...


ආච්චි : හසී පුංචිට කොහෙන්ද බාප්පෙක්??


පුතා : ඉන්නවා ඉන්නවා.. 


ආච්චි : කවුද කොහෙද ඉන්නේ පුතේ? අපි දන්නේ නෑනේ...


පුතා : හසී පුංචිගේ බාප්පා ඉන්නේ කොම්පිටරේ, එයා මට පෙන්නන්නේ නෑ, ඒ උනාට එයාට බාප්පෙක් ඉන්නවා...


******************************************************


පුතා : මොකක්ද කසාද බඳිනවා කියන්නේ?


නැන්දා : මම දන්නේ නෑ.. හිකිස්‌ 


පුතා : අපෝ ඒකවත් දන්නේ නැද්ද? කසාද බඳිනවා කියන්නේ ඔයා වගේ මෝඩයෙක් ගෙදර එක්කන් එන එකටනේ.... 


නැන්දා : හික් 


******************************************************


පුතා : පුංචි ඔයා බාප්පා එක්ක යනකොට සාරියක් අඳිනවාද?


මම : මොන බාප්පාද ?


පුතා : ඔයාගේ බාප්පා එක්ක.. 


මම : මම කොහේ ගියත් යන්නේ ඩෙනිමයි ටි ෂර්ට් ඒකයි දාගෙන...


පුතා : නෑ මෝඩයෝ කසාද බැඳලා යනකොට... 


මම : හික් හික් ඔව් ඔව් සාරි ඇඳලා තමා යන්නේ..

Wednesday, July 27, 2011

෴ හැකිවේද නැවත ගොඩ නගන්නට ෴



පවුල් විරසකයක් නිසා  
දෙපසට බෙදී වෙන් වී ගිය 
අපේ සොඳුරු ළමාවියේ සිහින, 
හැකිවේද නැවත ගොඩ නගන්නට 
සහෝදරත්වයේ  නාමයෙන් 
යොවුන් වියේදිවත්...


ප.ලි - අවුරුදු 12කට විතර පස්සේ ඊයේ  චුටි අයියා හම්බුනා.ගෙදර ඇවිත් පරණ මතකයන් අවුස්සද්දි හිතුන දෙයක්... 

Sunday, July 17, 2011

~ කවී මඩුවක් තියෙනවාලු ~


මේ මේ දන්නවාද වැඩක්...

මොකක්ද?

කවිමඩුවක් තියෙනවාලු නේද?

නෑ කොහෙද තියෙන්නේ?

ඔන්ලයින්..

සිරාවට...

ඔව් ඔව් ලාංකීය සිතුවිලි කවිමඩුව දෙවැනි පාරට කරන්නේ..

ආ මට මතකයි, කලින්පාර එකට යන්න බැරි උනා මට, එල වැඩක් නේ...
 
ඔව් ඔව් එහෙනම් මේ පාර එකට යමු.

අනිවා යමු.

එහෙනම් දන්නා කියන කස්ටියට කියන්න මේ මාසේ 29,30,31 කවිමඩුවට ගොඩ වෙන්න කියලා..
 
අනිවා කියන්නම්..

එහෙනම් එදාට සෙට් වෙමු.....

Tuesday, June 21, 2011

෴ ලඟින් හිඳිනු මැන ෴




නෙත නිදිවර අහිමිව 
සොයයි නිති ඔබේ රුවම 
ඉකිබිඳීන සිත තනිව 
සනහාලන්නට හැකිද  නුඹට 
දුරස් නොවී කිසිවිටක 
ලඟින් හිඳිනු මැන 
සෙවනැල්ලක සේ...... 

Thursday, June 9, 2011

෴ සෙනුල් පුතාගෙන් තවත් කතාවක් ෴

කෑදර සිංහයාට වූ හදිය 



ඔන්න එක දවසක් සිංහයෙක් බඩගින්නෙ කෑම හොයාගෙන කැලේ මැද්දෙන් ගියා. එතකොට එයා හාවෙක්ව දැක්කා. එයා හාවාව අල්ලගත්තා.සිංහයාට ඉස්සරහින් මුවෙක්  දිව්වා.සිංහයා හිතුවා හාවාව අතැරලා මුවාව අල්ලගත්තානම් හොදයි කියලා.සිංහයා හාවාව අත ඇරලා මුවා පස්සෙන් දිව්වා.සිංහයාව දැකපු මුවා ගොඩාක් හයියෙන් දිව්වා.. සිංහයාත් පස්සෙන් දුවගෙන දුවගෙන ආවා.. ඒ උනාට සිංහයාට මුවාව අල්ලගන්න බැරි උනා.අන්තිමේදී සිංහයාට හාවාත් නැති උනා.. මුවාවත් නැති උනා.

Friday, May 27, 2011

ღ යදම් බැදී ආදරයක් ღ


යදම් දමා සිර කල 
ආදරයක් කුමටද 
නිදහසේ විඳින්නට 
නොහැකිනම්....  

ප.ලි - මේක කවදා මොකට ලිව්වාද දන්නේ නෑ.. පොතක් අස්සේ තිබිලා හම්බ උනේ....

Thursday, May 19, 2011

~ නොසිතු සමුගැනීම ~


ලියන්නට පද වැලක් නොහැක මා හට 
කිසි දින නොපැතූ දෙයක් සිදු වී ඇත 
කෙසේ පවසම්ද හදවත දවන වේදනාව
කීම මෙසේ යන්නට ගියේ අප අත හැර 




දිලුම් අයියේ එදා සයිබර් සැණකෙළියේදී මගේ ලගටම ඇවිත් මෙහෙම උදවු කරද්දී මම හිතුවේ ඊලග සැණකෙළියේදී ඔයා අපිත් එක්ක ඉදි කියලා හොද සුවයෙන්... එත් කොහොමද දැන් මම හිතන්නේ මේ ආත්මෙදි ආයේ ඒ දවස එන්නේ නෑ කියලා. කවදාවත් මේ වගේ දෙයක් ලියන්න වෙයි කියලා මම හිතුවේ නෑ.එත් අද...... අයියේ ඔයාට අයේ උපදින ජාති ජාති මේ වගේ අකල් මරණයක් නොවෙන්න කියලා පතන්නම්... නිදුක් නිරෝගී සම්පතම ලැබෙන්න කියලා පතන්නම්.. ආයෙත් අපේම සහෝදරයෙක් වෙලා අපි අතරම ඉපදෙන්න.. අපි එදාට මුණ ගැසෙමු...!

Sunday, May 1, 2011

♪ ♫ ඩොකි දුටු සංගීතය ♪ ♫



සෑම අවුරුද්දක මෙන්ම මෙවරද අපේ ගමේ අවුරුදු උත්සවය හා සංගීතය පැවැත්විය.අවුරුදු උත්සවය දිනයේ මේ පලාතේවත් නොහිටි නිසා එයට සහභාගී වීමට නොහැකිවිය.සිටියාද යන්නේද නැත, එය වෙනම කථාවකි.කෙසේ හෝ අලුත් නෑනන්ඩියට සංගීතය බැලීමට ඕන වූ නිසා මාද, ලොකු මස්සිනා අක්කා, පුතා, ලොකු අයියා හා නෑනන්ඩිද පිටත් විය.අප නිවසේ සිට මීටර් 50ක් පමණ දුරින් පිට්ටනිය පිහිටා ඇත.. 
කුඩුකාරයන්ට පින්සිදු වෙන්නට පාරෙ විදුලි බුබුලු නොමැතිවීම හේතුවෙන්.. ටෝච් එකක් ගෙන අප ගමන ආරම්භ කරන ලදී. ටික දුරක් යනවිට තුන්මං හන්දියක් හමුවේ.. එහි සිට දිගටම පාර පුරා සුරමතින් මත්වූ බේබද්දෝය.... අයියාලා අක්කලා මාව මැදිකොටගෙන පරිස්සමින් යන ලදී... පිට්ටනිය දෙසට ලංවන විට පාර හරස් වෙන්නට ගැසූ තඩි ලොරි දෙකකි.යන්තම් අමාරුවෙන් රිංගා ගොස් අපි අයිනකින් හිටගන්නා 
ලදී.යාළුවෝ සිතීදැයි හෙමිහිට වටපිටාවට චැනල් එක දාන කල දුටුවේ ගස් උඩ පවා මිනිසුන්ය.අසල නිවාස කිහිපයේම වහළ උඩ පවා සෙනගය..මට සිහි වුයේ නාළගිරි දමනය නරබන්නට පැමිනි මිනුසුන් ගැන බුද්ධාගම පොතේ තිබූ විස්තරයයි..මුලු ගමම මෙතනය..  අපි විතරයි අඩු. දැන් ඒකත් හරිය.අයියද හෙට ගමනක් යන බැවින් නොපැමිනි නිසා අයියාගේ යාලුවෝ හෝ සිටීදැයි බැලුවද එකක්වත් නැත.අපුරු මල්වෙඩි ටිකක්නම් දුටුවෙමි...  එනවුන්ස් කරන එකා මොනාදෝ හැල්ලක් කියවනු ඇසී වේදිකාව දෙසට 
දෑස් යොමුකලද මටනම් කිසිවක් නොතේරිනි..

ඔව් පිලිගන්න ඔබේ ආදරණීය ගායකයා මොරටු පුත්‍රයා... ඇහ් මේ මොකාද මම මෙහෙම එකෙක් ගැන අහලා නෑනේ..

අසංග ප්‍රියමන්ත පීරිස්..... 

සුවර් එකට නිවේදකයාට වැරදෙන්නට ඇතැයි මට සිතිනි.සින්දු අසමින් නැවතත් වටපිටාවට චැනල් එක දමන විට ඈතින් කුමක්දෝ සුදු පැහැති ගුලියක් අහසට විසි වෙනු පෙනිනි.මසිතට බියක් දැනුනේ අවුරුදු 8ක පමණ ඉතිහාසයක් ඇති ප්‍රගති නයිට් එකේ එක් වරක් සිදුවූ වලිය හා පිහි 
ඇනුමයි.. එය බෝම්බයක් වුවහොත් සංගීතයක් බැලීමට පැමිනි ප්‍රථම වතාවේම මැරෙන්නට සිදුවනු ඇත.. නැත නැත මාහට වැරදී ඇති සෙයකි. ඒ කොල්ලෙක්.. ඔහුගේ යාලුවන් ඔහුව ඔසවා උඩ දමති.. හෆොයි කොයි වෙලාවේ හෝ ඒකාගේ කොන්ද කැඩෙනු ඇත.ඒ අස්සේ කුඩා කලු ගුලියක්ද අහසට විසිවිය.. නැවතත් බෝම්බ බිය මසිතට ඇතුලුවිය. නැත නැත එය හෙල්මටයකි.. මුන්ට නිකම් ඉන්න බැරිව එක එක එව්වා උඩ 
දමති.. අපි බයේ ගැහෙන්න බව නොතේරේද?පොලිස් මාමාලා දෙදෙනෙක්ද මඩවලක් අසල සිටී..කොල්ලන්ගේ දැඟලීම හේතුවෙන් මාමලා දෙන්නා මඩ වලට වැටෙයැයි මා බලාපොරොත්තු වුවද එය එසේ සිදු නොවිය.

නැවතත් කාටදෝ වේදිකාවට ආරාධනා කලද මට ඔහුගේ නම නෑසිනි. වයසක මනුස්සයකු සේ ඈතට පෙනේ..කොන්ඩයද වවා තිබුණි.. 

මම කැලුම්.. ඔබයි දේදුනු...♪ ♫ ♪ ♫

මේ සින්දුව කියන්නේ චාමික සිරිමාන්න වුවත් මෙහි සිටින්නේ වෙනකෙක් බව මට හැගුනි.. මෙවරත් මට වැරදුනි.. ඒ ඔහුමය.. වයසක මිනිසෙකු සේ පෙනුනේ මන්දැයි දැනුදු මට ප්‍රශ්නයකි.. එක්කෝ මගේ ඇස් ඩොකෙකුට පෙන්නිය යුතුය,නැත්නම් ඒකාට පිස්සුය.තවත් දෙදෙනෙකු පමණ සින්දු කීය.මම ඒ පැත්තට කණ දමා ඇස් පිට්ටනිය සිසාරා යොමු කලේ එක එකාගේ පණු ඩාන්ස් (නෑ නෑ පණුරාධ නෙමේ)බැලීමටය.උදේ වැස්ස නිසා පිට්ටනය මඩ වී ඇත..කොල්ලෝ එහි මඩ තලති..මෙය කලකට පෙර ගල්වලකි.එය ගොඩ කර ඇත්තේ සීපා නම් සෙරප්පු කොම්පැනියේ රබර් කෑලී දමාය. අදටත් සංගීතය දවසට පිට්ටනිය බම්ප් වේ,වුවමනාවෙන්ම උඩ පනින්න අවශය නැත.. පිට්ටනිය මැදට ගිය විට නිකම්ම බම්ප් වේ... ඔව් මෙන්න පිලිගන්න ඔබේ ආදරය දිනූ පුංචි තරුව.... පුංචි කෙල්ලෙකු වේදිකාවේ සිටී..ළමා ගීත අහගන්න පුලුවන් වේයයි මට සතුටක් ඇති විය.. 

පින්න පිපෙන රෑයාමේ එන්නදෝ සොයා..♪ ♫ ♪ ♫

ෂික් දැන්කාලේ හැදෙනා පොඩිවුන් ගන්නම දෙයක් නැත..ඒ අතින් අපි හෙන හොඳය. වැඩිහිටි ආදර ගීත කීපයක්ම ඇය ගායනා කලේය.. මටනම් ලැජ්ජා සිතිනි. එක අතකට දැන් කාලේ ඔහොම තමා.. අම්මාගේ බඩේ ඉද්දීම සියල්ල දැනගෙන හමාරය.අපේ ළමයි ගැන මට දුක සිතුනි...අවසානයේ ඈ මහරජාණන්ට කථා කලේය..මෙය හරි යන්නේ නැත.පොඩිවුන් ආදර ගීත කියන කල ඊලඟට එන එකා මොනවා කියයිදෝ සිතමින් අප නිවස බලා එන්නට පිටත් විය..නෑනාගේ අතේ එල්ලී පොඩි එකෙකු සේ ගෙදර පැමිණියෙමි... 
උදේ අවදි වූ අපේ අයියා,
යකෝ අපි හොඳයිනේ මේකා සංගීත වලට ගිහින් එන්නේ රෑ දොළහත් පහු වෙලා යි කීයා මා  එයාගේ කැරැට්ටුව දිග ඇරීමට පෙර ලිස්සා ගියේය.

Friday, April 29, 2011

෴එය එසේ සිදුවිය෴



පහුගිය දොහේ අපේ ලොක්කාගේ වෙඩිම තිබ්බාය.අපිත් මහත්සේ සන්තෝසයෙන් එයට සහභාගි වුනෙමි..මන්ද යත් අවුරුදු 38ක් තිස්සේ තනිකඩව සිටි ඔහු හිරේ විලංගුවේ වැටීම ඔහුගේ දෙමාපියන්ගේ එකම අභිලාෂය වූ බැවිනී.
දුරු කතර ගෙවාගෙන පසුගිය හෙනනුරාදා හවස් ජාමයේ අප බෙලි අත්තට පා තැබුවෙමි..වෙන්න නෑනා විසින්ම සොයාදුන් හෝටලයක අප රාත්‍රිය ගත කරන ලදී.. ශනි දින උදෑසනම මනමාලිගේ නිවසට ගොස් හවස් ජාමයේ අප ඇයවත් කැන්දාගෙන ලෑල්ලටම පාගා කොළඹට පැමිනියේ සුනාමි එනවායැයි බියෙන් නොවන්නේහිය.ලොක්කාව අමාරුවේ දැමීමට මූලික අඩිතාලම දැමුවේ අපේ තාත්තාගේ අයියා කෙනෙකුගේ පුතෙකි..අපි ඔහුට ජයශ්‍රී කියමු.ඒකාද විලංගුවේ වැටීමට තෝරා ගත්තේ දකුනු පලාතයි. (මටත් ඒ දෙසටම යන්නට වන්නේය. හික් හික් )
අපේ ලොක්කා කිසිදු යොජනාවකට කැමති නොවී අවුරුදු 38ක්ම සතුටින් ගත කලද,අර ජයසිරියා විසින් මහත්සේ ප්ලැන් කල උගුලෙහි වැටුනේය.ඒ මෙසේයැ..
ජයසිරියා සැත්කමක් සඳහා රෝහල් ගතකොට නිවසට පැමිණ  විවේක සුවයෙන් පසුවන අවස්ථාවක මේකා ගෙදර ෆෑන් එකේ වයර් එකක් බුරුල් කලේය..එය සාදා දීමට ලොක්කාට කියුවිට අසනීපෙන් ඉන්න මනුස්සයානේ කියා ලොක්කා එහි ගොස් ඇත..එවිට ජයසිරියා අපේ නෑනා පොඩ්ඩව ලොක්කා වැඩ කරන තැනින් එහාට මෙහාට යාමට සලසවන ලදී.ඊට පසු එදිනම හෝ පසුදින(හරියටම මතක නැ )ජයසිරියා විසින් මෙහි පැමිණ අර කෙල්ලට කැමතිද යන්න ලොක්කාගෙන් අසන ලදී.ලොක්කට මහත්සේ පෙරෙත්තකොට බෙලි අත්තත බැලීමට යාමට කැමති කරගන්න ලදී.කෙල්ලද ලස්සනය,හොඳය..කරදරයෙන් බේරීමට ලොක්කා කැමැත්ත දී ඇත.ලහි ලහියේ සූදානම් වූ වෙඩිම අවසාන වූයේ සැමගේ සිත් පිනවමින්ය...අපට ලොකු නෑනෙක් ලැබුනේය.. ඇය හොඳය...
ඊයේ ජයසිරිගේ බිරින්දෑ මෙහි කරක් ගසන්නට පැමිනියේ අලුත් ජෝඩුවට කෑමකට අරාධනා කරන්නටය.ඒ අස්සේ තවත් වෙඩිමක් සෙට් කරන්නට මාන බලන ලද බව පසුව මට ආරංචි විය.ජයසිරිලාගේ නිවස කිට්ටුව වෙසෙන කසුන් නම් වූ බේබද්දාව මට ජෝඩු කිරීමට කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදු වෙමින් පවතී.. ඒකා අමු බේබදෙකි.. කෙල්ලන් පස්සේ ගොස් චාටර් වූ ඉතිහාසයක් ඇත්තෙකි.. ඒකාට රජයේ රැකියාවක්, ඉන්න හිටින්නට ගෙයක්, තවත් ඉඩකඩම් රාසියක් ඇති බව කියා ඒකා මට සෙට් කරන්නට ජයසිරි යුවල සැරසෙන බව කලින් සිටම මට දැනුනී.. ඊයේ රාත්‍රියේ අපේ ලොකු අක්කා පැවසූ ආකාරයට අපේ ගෙදරින් අසන්නට ඔවුන් බලා සිටින බවක් දැනගන්නට ලැබුනී.මෙයනම් ජයසිරියාගේම කුමණ්ත්‍රණයක්මැයි....ජයසිරියා වාහන වල යෑමට බියක් දක්වයි(ඒ කථව වෙනම පෝස්ට් එකකින් බලාපොරොත්තු වන්න ).. මාගේ අදහස සුදු වෑන් එකකින් ජයසිරි ජෝඩුව ඉස්සීමය... අපේ අයියා මෙය අසා බිම පෙරලෙමින් සිනා සෙන්නේය..අම්මාද තාත්තාමද එසේමැ.. නමුත් ඔවුන් කසුනාටනම් අකමැති වන බව මට සිකුරුය.. ඒ අස්සේ අපේ අයියගේ පැණියා නම් යහලුවෙකු මාහට ජෝඩුකරන්නට අයියා සැරසේ.. 


Friday, April 22, 2011

෴ පොඩි එකීට දිවුල් කිරි පොවපු හැටි ෴

මේ දවස් වල හසී බිසී නිසා හසීගේ නංගි ඩොකීට කිව්වා පොඩ්ඩක් බ්ලොග් එක අප්ඩේට් කරන්න කියලා.......



ඔන්න ඉතින් ඒකාලේ මම හිච්චි එකී, හය හතර දන්නේත් යාන්තමින් .ඉස්කෝලේ 5 වසරේද කොහේද, අපේ ලොකු මාමාගේ දුවගේ වෙඩිමට අපි ලෑස්ති වෙවී හිටියේ.ලොකු මාමා රට ඉදන් ආපු නිසා ජයටම වෙඩිම ගන්න හැමදේම ලෑස්ති කලා ඉස්පෙෂලී බෙබ්සන්ලාට බීම.ඒ කාලේ අපේ සෙට් එක ලොකු මාමාගේ පුතාලා දෙන්නයි, දුවයි, අපේ අයියයි මමයි. හැමෝටම වඩා පොඩි උනාට අපි සෙට් එක එකටම හිටියේ.ඔන්න ඉතින් වෙඩිමත් ජයසිරි මංගලම් කියලා ඉවර උනා.. අපි දෙන්නා හිච්චි එවුන් උනාට අපේ අයියලා කරදඩු උස්මහත් වෙච්චි ලොකු අය නිසා මෙයාලාට ඕන උනා ඉතිරි වෙලා තිබ්බ බියර් වලට වැඩේ දෙන්න, කොහොමින් හරි හොරෙන් උස්සපු බියර් බිබී මෙයාලා ඉන්නකොට සෙල්ලම් කර කර හිටපු මමත් එතනට ගියා.. මම හිච්චි එකීනේ.. බෝතල් පේන්න තිබ්බෙත් නෑ.. මෙයාලා වීදුරුවල දාලා  මොනවාද බොනවා.

අයියේ මොනාද ඔය?

කිසි සද්දයක් නෑ.. කියන පාටකුත් නෑ මොනාද බොන්නේ කියලා
දැන් මේ දෙන්නා මූනට මූන බලාගෙන ඉන්නවා.. ටික වෙලාවක් ගියා.. ම්හු... නෝ කථා ටිකක් වෙලා ගිහින් මෙන්න එකපාරටම අහපි අපි මේ දිවුල්කිරි බොන්නේ ඔයාටත් ඕනිද කියලා.

කොහොමත් දිවුල් කිරි බොන්න ආස මම හා කියලා කිව්වා.මටත් ඉතින් වීදුරුවකට ටිකක් දාලා දුන්නාවීදුරුව නහයට ලං කලා.. අමුතු ගඳක් එනවා..

මේවා පරණ වෙලාද අමුතු ගඳක් එනවානේ... 


නෑ නෑ ඒ හැටි ඕවා හොඳයි බීලාම බලන්නකෝ.. කුප්ප හිනාවක් දාගෙන චූටි අයියා කිව්වා.මාත් ඉතින් ඔන්න ඔහේ බීලා බලනවා කියලා වීදුරුව කටට ලං කරලා උගුරක් බිව්වා.උගුර දිගේ පහලට මහා සැරක් වගේ ගියා.. එකපාරටම මට ඔක්කාරෙට වගේ ආවා..
 

චීයා මේ මොනවද කියලා කෑ ගහගෙන මම එලියට දුවලා කෙල ගැහුවා.
අයියලා ටික බඩ අල්ලන් හිනා වෙනවා...

පස්සේ තමා ඩොකී දැනගත්තේ දිවුල් කිරි කියලා රවට්ටලා අයියලා දීලා තියෙන්නේ බියර් කියලා..







ඔන්න ඔහොම තමා ඒ භයානක සිදුවීම උනේ.....

Tuesday, April 12, 2011

♥‿♥ මගේ හඳ ♥‿♥


ට්‍රීං.. ට්‍රීං...

කවුද මේ.... මම ෆෝන් එක අතට ගත්තේ එහෙම හිත හිත.

"හලෝ.."

"හලෝ බබා, ඔයාගේ ක්ලාස් ඉවරයි නේද?"

"ඔව්, මේ දැන් ඉවර උනේ..."

"මම මේ එනගමන් ඉන්නේ.ඉක්මනට එන්න. ඔයාගේ ක්ලාස් එක ලගමයි මම ඉන්නේ"

"හොර කොල්ලා මට කිව්වේ වත් නෑ අද එනවා කියලා..."

මම ක්ලාස් එකෙන් එලියට ඇවිත් අතුරු පාර දිගේ ඇවිදන් ආවා.කෝ.. පේන්නවත් නෑනේ...තාම ගේ ලඟද දන්නේ නෑ..

ට්‍රීං.. ට්‍රීං...


ආයෙත් කෝල් කරනවා.

"බබා මම ඉන්නේ පාරෙන් එහා පැත්තේ පේනවාද මාව.."

"ම්ම්ම්ම්ම්... ආ ඔව් ඔව් පේනවා.. පාර පැනලා එන්නකෝ.."

"අදනම් පාර පනින්න බෑ වාහන ගොඩායි කහ ඉර ගාවට
එන්න.. "

"හ්ම්ම්.."

අපි දෙන්නා පාර දෙපැත්තෙන් ඇවිදන් ගිහින් කහ ඉර ළඟට ආවා... මම පාර පැනලා එයා ළඟට දුවගෙන ගිහින් අතේ එල්ලුනා...

මේ සිදුවීමත් හරියට අපි දෙන්නාගේ කථාව වගේමයි.අහම්බෙන් පන්තියකදි හමු වෙලා  ගොඩාක් හොඳ යාළුවෝ වෙලා ඉඳලා විභාගෙන් පස්සේ අපි ආයේ හමු නොවුනත් මාව දැක්ක දවසේ ඉඳන්ම මටත් හොරෙන් අවුරුදු 5කට ආසන්න කාලයක්  මට ගොඩාක් ආදරේ කරලා මාව අමාරුවෙන් හොයගෙන මට ආදරේ කරලා අන්තිමේ මාව එයාගෙම කරගත්තා.


අමාවක කළුවර වැටිලා
තිබ්බ මගේ ජීවිතේට
පුන් සඳක්වෙලා
සිසිලස දෙන්න,
මගේ ලෝකෙම එළිය කරන්න
ආපු මගේ හඳට
හැමදාම ගොඩාරියක් ආදරෙයි....

Saturday, April 9, 2011

෴ නරියා හා මෝඩ වලහා ෴

ඔයාලා දන්නවනේ කැලේ සත්තු ඔක්කොම වලහට බයයි කියලා.හැබැයි මේ කථාවේදි නරියා වලහට හොඳ වැඩක් කලා.එක දවසක් වලහට හොඳටම බඩගිනි හැදිලා වලහා කැලේ මැදින් තරහෙන් පුපුර පුපුර ගියා.එතකොට වලහාට හොඳ අදහසක් ආවා.වලහා බිම පෙරලිලා මැරිලා වගේ හිටියා.එතකොට කැලේ සත්තු බය නැතුව වලහා ලඟට ආවා. වලහා ලොකු සතෙක් එනකන් බලා සිටියා.නරියාත් එතනට ආවා.වලහා පැනපු ගමන්ම නරියාව බිම වැට්ටුවා.වලහා මෙහෙම කිව්වා "තෝ රැවටුනා නේද?" වලහා කිව්වා."නෑ නෑ" නරියා කිව්වා."මම ඔබට රසවත් කෑම ටිකක් හොයලා දෙන්නම්" නරියා වලහාව කෑලේ වටේම එක්කගෙන ගියා.එතකොට නරියා කොස් ගහක් දැක්කා.ඒ කොස් ගහේ මීමැස්සෝ රංචුවක් හිටියා.
"අර බලන්න පැනි බේරී බේරී තියන මී වදයක්, අපිට ගස් නගින්නත් බැහැනේ" නරියා කිව්වා.
"ඔයාම ගිහින් ඒක කඩාගෙන කන්න" වලහා ගහට නැග්ගා.
එකපාරටම මීමැස්සෝ ටික ඔක්කොම ඇවිස්සුනා.වලහා ගහෙන් බිමට වැටුනා.වලහාට හොඳටම රිදුනා.වලහාට සිහිය නැති උනා.නරියා මී වදෙත් අරගෙන හයියෙන් එයාගේ ගෙදරට දුවගෙන ගියා.
"මේ ලෝකේ කාටවත් මාව රවට්ටන්න බෑ" කියලා නරියා හික් හික් ගාලා හිනා වුනා. 

ප.ලි - මේක ලිව්වේ, චිත්‍ර ඇන්දේ සෙනුල් පුතා.. කෝ කට්ටිය කොල්ලාට සප් එකක් දෙන්න......

Thursday, April 7, 2011

෴ සිහිනය සැබැවීම ෴

පසුගිය ඉරිදා කොළඹ හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩා පිටියේ තිබ්බ සයිබරයේ සිහින සැණකෙළිය අති සාර්ථකව නිමාවට පත්වුනා.. ඒ පිළිබඳ පුංචි සටහනක් මේ......


හැමවෙලේම ටිකක් හිනාවෙවී ඉන්න අපේ අබේපාල මාමාගේ සිහිනය මල්පල ගැන්වීමක් විදියට සතර දෙසින් හැමෝම එකතු වෙලා සිහිනය සැබැවක් ලෙසම අපි එදා වින්ඳා.. එදා දවස ගැන වචනයෙන් විස්තර කරන්න බැරි තරම්..කිසි දිනක නොදුටු , හැමදාම තාක්ශණේ පිහිටෙන එකට එකතුවෙලා කථා බහ කරන, සිනාවෙන, අනුන්ගේ දුකේදි දුක් වෙන අපේම සහෝදර සහෝදරයෝ දැක බලාගෙන අවුරුදු ක්‍රීඩා කරලා සතුටු වෙලා කරට අතදාලා ෆොටෝ ගන්න හැමෝටම අවස්ථාවක් ලැබෙන්න ඇති..
ඉලංදාරියාගේ සහයෝගය මේ වෙලාවේ මතක් කල යුතුමයි.ලගටම ඇවිත් උදව් කරල හැටි තමා ඔය පින්තූරයේ තියෙන්නේ.


අයියේ ඉක්මනින් සුව වෙලා අපිත් එක්ක ආයෙත් දවසක මේ වගේ එකතු වෙලා මීට වඩා සතුටක් ලබා ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

මේ සියලූ කටයුතු සාර්ථක කරගන්න වෙහෙස මහන්සි වු,ආධාර කල සැමටත් එදින සහභාගී වී උත්සවය වර්ණවත් කල සැමටත් ස්තුතිය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.ඉතින් ආයෙමත් මේ වගේ දවසක් එනකම් බලා ඉන්නවා...



 
ප.ලි - මේ පෝස්ටුව පමාවීම ගැන සමා වෙන්න ඕන.. ලියන්න හිටියත් ලියන්න බැරි උනා.. කරන වැඩක් නැති උනාට කම්මැලිකම ලොකුයිනේ හැමදේටම වඩා..

Friday, March 25, 2011

෴ යේ.... අද තමා දවස ෴



වසරක් පුරාවට
සිතපුරා නැඟි සිතුවිලි
යුනිකේත කල ඉසව්වට
ගොඩවැදුනු ඔබ සැමට
තුති පුදමි හදවතින්ම...



වසරක් පුරාවටම මාව දිරිමත් කළ ඔයාලා ඔක්කෝටම ගොඩාක් ස්තුතියි...!

Tuesday, March 22, 2011

෴ ගෝල්ඩ් ෆිෂ් සූ ගිය හැටි෴


ඔන්න ඊයේ  අම්මා සිල්ගන්න ගිය නිසා ගෙදර වැඩ ටික එහෙම කරගෙන මං ඉන්නකොට මෙන්න මගේ ෆෝන් එකට මැසේජ් එකක් ඇවිත්.බැලින්නම් අපේ අර පිස්සු ගොල්ඩ් ෆිෂ්ගෙන්.. මෙයා අපේ ප්‍රාන්තෙට ඇවිත්ලු.. ඒ පාර ඉතින් මම මැසේජ් එකක් යැව්වා මෙන්න මෙහෙම, ඔය මාළු ටැංකියේ දාලා තියෙන්නේ ඒක විකෘති කරලා.

Ape pranthe mak koranawada? Apen awasara nethuwa mehe hakkalan karanna be.koheda inne?

ටික වෙලාවක් ගියා සද්දයක් නෑ.. මං ඉතින් අපේ අක්කාගේ පොඩි එකාව හුරතල් කර කර හිටියා.. මෙන්න බොලේ මාළුවාගෙන් කෝල් එකක්..

හලෝ..

හලෝ... මේ  අනේ මට අද සූ ඇරලාද කියලා කියන්නකෝ,මං මේ යාලුවෙක් එක්ක ආවා.. ගෙදර යන්න තව වෙලා තියෙනවා.ඉතින් මේ සූ යන්න කියලා :D

සූ... හිතුවද මං සූ එකේ වැඩ කියලා.. :P අද පෝයනේ ඇරලාද දන්නේ නෑ.

අනේ හලෝ කියනවකෝ..

ඇයි මොකෝ ටැංකියේ වතුර හිඳිලාද? හිහී :P

මේ මගෙන් මුකුත් අහගන්නෙපා.@%^&*%#. අනේ කියනවාකෝ...

මං හිතන්නේ අද ඇරලා ඇති.

අනේ එහෙනම් මට යන පාර කියන්නකෝ..

ආ.. දැන් කොහේද ඉන්නේ කියන්නකෝ...

මං මේ ඉන්නේ බ්ලා බ්ලා බ්ලා.....

අයියෝ ඔතනද? අපේ බස් හෝල්ට් එකනේ.. ඔන්න ඕකේ නැගලා මේ පැත්තේ එන්න.. හික් හික්


අපෝ මට ගුටිකන්න බෑ බොල..

හා හා ඔතනින් ඔහොම ඉස්සරහට යනකොට
බ්ලා බ්ලා බ්ලා බ්ලා....

ඔන්න ඔහොම මං පාරත් කිව්වා..ඒ  අස්සේ මාළුවා මගෙන් අහපි "නංගි මොරටු බස් එකේ යන්න බැරිද" කියලා.දෙහිවල තියෙන සූ එකට මොරටු බස් එකේ ගිහින් හරියනවාද? මාළුවාටත් පිස්සු.. :P

ආයෙත් කරගම්පිටිය හන්දියේදි මට කෝල් කරලා අහගෙන තමා ගෝල්ඩ් ෆිෂ් සූ ගියේ.... :D

තතු දත්තෝ කියන විදියටනම් වෙලා තියෙන්නේ මේකයි.මේ දවස් වල රස්නේ නිසා ගෝල්ඩ් ෆිෂ්ගේ ටැංකියේ වතුර නිකම් නටන උනුවතුර වගේලු.ඉතින් මේ පිස්සු මාළුවා හිතලා රස්නෙන් මිදෙන්න ටැංකියෙන් එළියට පනින්න ඕන කියලා.. ඒ පාර තමා ඔය එහේ මෙහේ මඩ වලවල් වල පැන පැන ඉදලා අන්තිමේ ඉවසාගන්න බැරිව ටැංකියක් හොයාගෙන සූ ගිහින් තියෙන්නේ..  :P :P







ඔන්න ඉතින් ඊට පස්සේ තමා "ගෝල්ඩ්ෆිෂ් සූ ගියා වගේ" කියලා කථාව හැදුනේ.. :D

Friday, March 11, 2011

෴ අහෝ දුකකි, සිරගතවී සිටිමී - 2 ෴

කලින් පෝස්ට් එක බලන්න බැරි උන අය බලලාම එන්නකෝ..
෴ අහෝ දුකකි, සිරගතවී සිටිමී - 1 ෴



කෑ ගැසීම ඉවසීමට බැරුවා
පොඩි එකාගේ ආසාවනේ සිතලා
එහෙනම් පොඩ්ඩක් සෙල්ලම් කරන්න
කියලා මා ටිකකට ඉඩ දුන්නා

ඇබ්බහිවී ගේමට මේකා
එදා දවසේ පාඩමත් මග හිටලා
පැය දෙකෙන් ගෙදරත් නොගිහින්
පැය ගාණක් ගේම්ම ගැහුවා

පහුවදාත් ආ විගසිනා
ගේම් ගසන්නට ලෑස්තිවීලා
අමාරුවෙන් තරවටු කරලා
පාඩම කියලා දුන්නා

පොඩි වැඩක් කරන්නට දී
වතුර උගුරක් බොන්නට ගිය ටිකටා
පාඩම් වැඩ සියල්ල පැත්තක දමලා
එකසිය ගානට ගේම් ගසන්නා

එනපොට හොඳ නැති බව දැනුනා
ගේම් මිස පාඩම ඔළුවට නොගන්නා
අලියා අමතා සිද්දිය කියලා
අවසර ගෙන ගේමට ගේමක් දුන්නා

පහුවෙනිදා උදේ පාන්දරම
ගේම් ගසන්නට දත කට මැදගෙන
එනවිට ගේම නැති බව දැකලා
සිදුවූ දේ විමසන්නට වූවා

වයිරස් ඇටෑක් එකක් ආවා
සියලුම ෆයිල් ඩිලීට් වුවා
ගේම් සියල්ලම නැතිවී ගියා
බොහෝ දුකට සිස්සයා පත්වූවා

වෙනදා ඇති ඇල්මත් නැති වූවා
පාඩම හිතට ගන්නේත් නැතුවා
කුමක් කරන්නද මූට එපානම්
මා දිගටම කියලා දුන්නා

අන්තර්ජාලේ ගැනත් කියාලා
සර්ච් කරන්නට කියලා දුන්නා
මෙන්න හදිසියේම මේකා
ඇල්බට් අයින්ස්ටයින් සර්ච් කරන්නට වූවා

නැවතත් සියල්ල පැත්තක දමලා
ඇල්බට්ගේ ඉමේජ් සොයාලා
සියල්ලම අමතක වූවාක් සේ
එක දිගටම බලාගෙන ඉන්නට වූවා

එකපාරට වූ දේ සිතා ගන්නට නොහැකිව
හා හා දැන් නැවතත් පාඩමට කීවත්
සිහියක් පතක් නැතිවම මේකා
ඇල්බට්ගේ මුහුණම බලාගෙන උන්නා

මූලික දැනුම ලබාදී අහවර වූවා
පන්තියත් එතනින් නිමාවට පත්වූවා
එනමුදු නැවතත් හදිස්සියේමා
සිස්සයා ගෙදරට කඩාපාත් වූවා..

අනේ අක්කේ පන්තියේ වැඩකට
පොඩ්ඩක් ඉන්ටනෙට් යන්නද අසමිනා
දිනෙන් දිනම මේකා
අපේ නිවසට එන්නට වූවා

මෙහි යම් හොරයක් ඇති බව දැනුනා
සොයා බලන විට මේ සිද්දිය
හැමදා ඇවිදින් ඇල්බට්ගේ  ඉමේජ්
දෙසම බලා ඉන්නා බව දැක්කා

ඇල්බට්ගේ මුහුණේ කුමක් තිබෙන්නා
ගෙදරට මෙන්
මටද බොරු කියමින්නා
මේකා නටන නාඩගම කුමන්දා
නොවැටහේ මටනම් කිසිසේත්මා

දැන් දැන් නිතරම නිවසට එන බැවිනා
වැඩ ඇති බව පවසා මා ෂේප් වෙන්නට හැදුවා
එනමුත් ගැලවීමක් නැතිබව දැනුනා
අකමැත්තෙන් වුව මා කාමරයේ සිරගතවූවා


ඔන්න ඕකයි උනේ... මං හිටියොත් අනේ අක්කේ මට මේ විනාඩි 5ක් තිබ්බානම් ඇති කියලා කියවනවා.. ආයේ පැය ගාණකට යන්නේ නෑ... ගමනක් යන්න තියෙනවා කිව්වොත්, අක්කා ඇඳගෙන එන්නකෝ කියනවා..කාට කියන්නද මේ අවනඩුව. ඉතින් මං සිරගත උනා... හෆොයි මට වෙන දේවල්....

 

ප.ලි - හිතට ආපු විදියට එක දිගටම ලියාගෙන ගියා.. වැරදි අඩුපාඩු ඇති.. මෙලෝ රහක් නැතිවත් ඇති.. සමාව බාජනේක දාලා තියලා යන්නකෝ, හරි හරි බාජන ටික ඊලඟ දවසේ දෙන්නම්... හික් හික්.. මගේ මෙලෝ රහක් නැති විකාරයක් කියෙව්වට තැන්කූ ඈ....

Thursday, March 10, 2011

෴ අහෝ දුකකි, සිරගතවී සිටිමී - 1 ෴


සකල සිරින් පිරි සිරි ලංකාවේ
කොළොම්පුරට ආසන්න නගරෙක
සතුටින් සාමයෙන් ජිවත් වෙන කලෙක
කඩාපාත් වුනි හෙනයක් මා ජිවිතයටා

ගෙවල් දෙකකට එහායින් වෙසෙනා
අපේ නෑදෑ කෙනෙකුගේ පුතුන් හටා
කොම්පූටර් දැනුමක් ලබා දෙන්නටා කියා
මාගෙන් ඉල්ලිමක් කර තිබුනා

දන්නා දැනුමක් තවකෙකුට ලබාදී
පිනක් දහමක් කරගන්නා අරමුණිනා
ගෙදරට වී කාලයා කා දමනා නිසාද
පටන් ගතිමි දිනයක් දා පන්තියක්

ඩෙස්ක්ටොප් අයිකන්,ෆොල්ඩර්ස්, ඉමේජස්
ඒකි නොකී මේ සියලු දේවල් හදුන්වා දුන්නා
ආසාවෙන් ඉගෙන ගන්න බවක් දැනුනා
හොඳ හැටි දන්නා දේ කියලා දුන්නා

දිනයක් දෙකක් ගෙවීගියා
සිස්සයා හොදින් ඉගෙනත් ගන්නා
මාහද සතුටින් ඉපිලි යන්නා
හොදින් ශිල්ප කියලා දුන්නා

සතියක් පමණත් ගෙවී ගියා
පාඩම් වැඩ කෙරීගෙන යන්නා
දිනක් සිදුවුනි නොවිය යුතු දෙයක්
එන්.එෆ්.එස් ගෙමක් හසුවුනි සිස්සයටා

අක්කේ අක්කේ මේ මොකක්ද
අසමින් මේකා වද දුන්නා
ඒක මේ ගේම් එකක්නේ
කියලා මා බේරී සිටියා

කුතුහලයත් වැඩීවී සිස්සයටා
ගේම් එක හැම වෙලේම පෙන්වමිනා
අනේ අක්කේ ගේම් ගහන්නද
නිතරම කෑ කෝ ගැසුවා



ඊට පස්සේ මොකද උනේ දැනගන්නම ඕනිනම් රැදී සිටින්න හසිගේ සිතුවිලි සමග....

෴ අහෝ දුකකි, සිරගතවී සිටිමී - 2 ෴

Tuesday, March 8, 2011

෴ සුබ උපන්දිනයක් ෴



උදෑසන ලහිරු කිරණ මෙන්
මගේ ජිවිතය ආලෝකමත් කරන,
සිහිල් සුලගක් මෙන්
නිතර ගත දැවටෙන
ඔබේ සුමුදු කොපුලක් සිඹිමින්
පවසන්නම්...,
මගේ පුංචි රෝස මලට
සුබ උපන්දිනයක්....

ප.ලි - මේක මම ලිව්වේ යාලුවෙක්ගේ ඉල්ලීමකට ගොඩාක් කාලෙකට කලින්.ඔන්න කැමති කෙනෙක් ඉන්නවානම් ගත්තාට කමක්නෑ මේක...
මේ දවස් වල අර ටැංකියෙන් පැනපු මාළුවෙක් මට තර්ජනේ කරනවා ලියන්න නැත්නම් පොල් ගහනවා කියලා(මාළු කවද්ද පොල් ගැහුවේ, හික්ස් :P) ඔන්න සුදු අයියේ පෝස්ට් එකක් දැම්මා.

Friday, January 28, 2011

෴මෙහෙමත් ෆීල්ඩ් සර්විස් ෴


මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියන දෙවනි පෝස්ට් එක...

මේකනම් අපේ අයියා මට කියපු කථාවක්.මේක වෙලා තියෙන්නේ අපේ අයියාගේ යාලුවෙක්ගේ යාලුවෙක්ට..අපි මේ අයියාට කියමු ධනූ කියලා.. ධනුට හිටියා ගැණූ ළමයෙක් එයා හිරූ.ඔන්න ඉතින් දැන් මෙයාලාගේ සම්බන්දේ නැගලා යනවා..ඔහොම කාලයක් ගියාම ධනූට ඕන වෙනවා හිරූලාගේ ගෙදර එන්න.. එත් ඉතින් එකපාරටම එහෙම එන්න බෑනේ.. මෙයාට රස්සාවකුත් නෑ.. ගෙදරින් පන්නයි එහෙම ගියොත්. ධනූ ඉතින් දහ අතේ කල්පනා කරල කරලා කරලා බැරිම තැන මෙයා ගියා මෙයාගේ යාලුවෙක් හම්බ වෙලාවත් විසදුමක් ගන්න.මෙයා ඉතින් දවසක් චුටිවත්(ධනූගේ හොඳම යාළුවෙක්) එක්කන් ගියා  බන්ඩිව හම්බවෙන්න.. ඉතින් දැන් කට්ටියම කථා බහ කරලා අන්තිමේ තිරණයක් ගත්තා හිරූගේ ගෙදර යන්න..



ඔන්න ඉතින් දවසත් ආවා මෙයාලා යන්න හදන්නේ ප්‍රසිද්ධ ෆෝන් කම්පනියක ෆිල්ඩ් සර්විස් එන කට්ටියක් වගේ.. බන්ඩි ෆොන් වැඩ වලට දක්ෂයා.. චුටිත් ඉතින් ඔවරෝල් එකක් එහෙම ඇදගෙන වැඩේට ලෑස්ති උනා..
ධනූත් ටයි පොල්ලක් එහෙම දාලා මෙයාලාගේ සුපර්වයිසර් විදියට හිටියා..එතකොට ඉතින් ලකුනු වැටෙනවානේ.ඔන්න ඉතින් කොහෙන්දෝ වෑන් කට්ටකුත් සෙට් කරගෙන, අර  ෆෝන් කම්පනි එකේ වැඩ කරන යාලුවෙක් දුන්න බෝඩ් ලැල්ලකුත් එල්ලගෙන හිරූගේ නිවස බලා  මෙයාලා දැන් ගමනේ යා..යන්න කලින් හිරූට කියලා ගෙදර ෆොන් එකේ අර පිටිපස්සේ තියෙන වයර් එක ගලවන්න කියලා කාටවත්ම නොපෙනෙන්න.. කෙල්ලත් ෂෙප් එකේ වැඩේ දීලා දැන් ඉතින් ෆෝන් කම්පනියට කෝල් කරන විදියට ධනූටත් කෝල් කරලා මග බලන් ඉන්නවාලු.. කොහොම හරි හිරූයි එයාගේ අම්මායි විතරයි එදා ගෙදර ඉදලා තියෙන්නේ.. දැන් ඉතින් අපේ කස්ටියක් ගෙදරට ඇවිත් ඇඩ් එක දාගෙන වැඩේ පටන් ගත්තාලු.. අනේ ඔතින් ධනූගේ වෙන්ඩ නැන්දම්මාත් බීම එහෙම හදලා දෙනවලු..දැන් ඉතින් අපේ අයියලා සෙට් එකත් ෆොන් එක මස් කරගෙන බොරුවත වයර් වල පාට, සයිස්, අනං මනං බල බල ඉන්නවලු.. ධනූ පුටුවකට වෙලා හිරූගේ අම්මාත් එක්ක කථා කරනවාලු..

"මොකෝ පුතේ වෙලා තියෙන්නේ?"

"මේකයි ඇන්ටි මොකක් හරි ඇතුලෙන් කේස් එකක් තියෙනවා. අපි මේ ෆොන් එක ගෙනියන්නේ නැතිව මෙහෙ ඉදන්ම හදන්න පුලුවන්ද කියලා තමා බලන්නේ.."

හ්ම්ම්...

කොහොමින් හරි ඉතින් කට්ටියම පැයක් විතර බොරුවට දඟල දඟල ඉන්නවාලු.ටික වෙලාවකින් මෙයාලාට ඇහෙනවාලු ජීප් එකක් එන සද්දයක්..  කට්ටියටම හීන් දාඩිය දැම්මාලු..

ඔන්න ඉතින් ජීප් එක මිදුලටම ආවාලු.. කට්ටිය ෆුල් හොල්මන් වෙලා ගල් ගැහිලා ඉන්නවාලු.. මෙන්න එනවලූ තරු 5ක් 6ක් ගහ ගත්ත පොලිස් මාමෙක් දිලිසි දිලිසි..

"ආ.. කවුද මේ කට්ටිය"

"අපි මේ XXX එකෙන් අපිට කෝල් එකක් ආවා ෆොන් එකේ අවුලක් කියලා.චෙක් කරලා බලන්න ආවේ."

"ආ දැන් හරිද වැඩේ?"

"හරි, ෆෝන් එක දැන් සෙට්ල් කලා.. දැන් වැඩ.. අපි එහෙනම් ගිහින් එන්නම්.."

"ඕකේ"

අයියලා සෙට් එක හිමින් සීරුවේ වෑන් එකට නැගලා අවිත්..ගෙදර ඇවිත්  හිරූට කෝල් කලා

"කවුද  ඒ ආවේ ඔයාලගේ නෑදෑ කෙනෙක්ද?"

"නෑ ධනූ ඒ අපේ තාත්තා.."

ඒ අවස්ථාව බන්ඩියාගේ වචනයෙන්..
"යකෝ මන් ජීවිතේට ඒතරම් ස්පීඩ් එකකින් ෆෝන් එකක් සෙට් කරලා නෑ.. මන් හිතුවා බඩුම තමා කියලා.බලපන් මං හිතුවේම අපිව මාට්ටු වෙයි කියලා.නොදකින් අර ධනුවා ඌ දැන ගන්න එපැයි මාමණ්ඩියා පොලිස් කාරයෙක් කියලා.."


ප.ලි -  මේ කථාව ඇදිලා ආවේ අපේ අයියාත් මේ දවස් වල ඔය වගේ වැඩක් කරන්න හදන නිසා.. ඊට පස්සේ ධනූගෙයි හිරූගෙයි කථාවට මක් උනාද කියලා නම් මං දන්නේ නෑ..

Tuesday, January 25, 2011

෴පුෂ්පේගේ චිකන් කොත්තු෴

ඔන්න ඉතින් බස් බ්ලොග් සතිය වෙනුවෙන් මමත් පෝස්ට් දෙක තුනක් දාන්න හිතුවා.


අපේ පොඩි මස්සිනාට තියෙනවා සුදු යකඩ වැඩපොළක්..අර ත්‍රීවීල් වල බාර්,එක එක ගැජට් හදන.දැනට අවුරුදු 4කට විතර කලින් ඕකේ වැඩට ආවා පොඩි කොල්ලෙක්.නම පුෂ්පකුමාර.හැමෝම ලේසියට පුෂ්පේ කියලා තමා කථා කලේ..මිනිහා හෙන බයිටක්..ජොකර් කෙනෙක්වගේ තමා හැසිරෙන්නේ.. වැඩ ටික හැබැයි හරියට කරගෙන හිටියා.හදිස්සියට කඩේට එහෙම යවන්න ඕන උනාම මිනිහා පැනගෙන එන්නේ මොකද ඉතුරු සල්ලි වලින් කඩචෝරු කන්න පුලුවන්නේ..ඉතින් ගොඩාක් වෙලාවට හන්දියේ ෆාමසියට තමා මිනිහාව යවන්නේ නැන්දාගේ බෙහෙත් ගෙන්න ගන්න.

දවසක් දා රෑ අපේ අක්කාට කොත්තු බඩගින්නක් ඇවිත් මෙයාව හන්දියට යවන්න කථා කරලා කිව්වා චිකන් කොත්තු අරන් එන්න කියලා සල්ලි දීලා.මිනිහත් මාර සතුටකින් සල්ලිත් අරන් දඩුමොනරේ නැගලා ගියා.පැය බාගයක් ගියා තාමත් නෑ..ගොඩාක් කට්ටිය ඇති කියලා අක්කාත් දැන් බලා ඉන්නවා. කොහොමින් හරි පැය 2ක 3ක්ම ගියා.. මිනිහා නෑ.. අන්තිමට ලඟ කඩෙන් පාන් ගෙනත් කාලා අක්කලා නිදාගන්න ලෑස්ති උනා.මෙන්න බොලේ 10ට විතර මිනිහා එනවා වාහනේකට අහුවෙච්ච කජු පුහුලමක් වගේ මූණත් බෙරි කරගෙන.
අයියාට කේන්ති ගිහින්,

"මොකද මනුස්සයෝ මෙච්චර වෙලා කලේ?"

"මං හැමතැනම හෙව්වා මහත්තයා"

"ඇයි කඩ ඔක්කොම වහලාද?"

"නෑ මහත්තයා ඇරලා තිබ්බ හැම කඩේකින්ම ෆාමසියකින්ම ඇහුවා..කොහේවත් තිබ්බේ නෑ.."

"ඇයි මිනිහෝ තමුසෙට ෆාමසි ගානේ යන්න කිව්වේ කවුද?පිස්සුද?"

"නෑ මහත්තයා මේකයි උනේ. මං හන්දියේ කඩේට ගියා..එකේ නෑ කිව්වා.ඊට පස්සේ එහා පැත්තේ කඩෙනුත් ඇහුවා... ඒකෙත් නෑ.ඒ පාර  තව කඩේකින් ඇහුවාම කිව්වා ෆාමසියකින් අහන්න කියලා..ඒකෙත් නෑ කිව්වා..ඉතින් මන් මහරගමටත් ගියා.. එහෙත් නෑ කිව්වා."

දැන් අයියාට හොඳටම කේන්ති ගිහින්.

"දැන් තමුසේ ෆාමසිවල බඩගෑවේ මොනවා ඉල්ලන්නද?"

"ඇයි මහත්තයා මහත්තයා මට කිව්වේ චිකන් පොතු එකක් ගේන්න කියලානේ.. ඉතින් මන් හැම තැනම චිකන් පොතු හෙව්වා."

"හි හී හී.. මන් කිව්වේ චිකන් කොත්තු ගේන්න කියලා මිසක් චිකන් පොතු ගේන්න කියලා නෙමෙයි.හා..හා.. දැන් ගිහින් නිදාගන්න
වා.මීට පස්සේ හරියට අහගෙන යනවා.කුලප්පු වෙලා දුවන්නේ නැතිව."

"හොඳයි මහත්තයා..."

අයියාට හොඳටම හිනා..මිනිහා චිකන් කොත්තු කියන එක චිකන් පොතු කියලා අහන් ගිහින් හැමතැනම චිකන් පොතු හොය හොයා ගිහින්.අන්තිමට සෑහෙන්න කාලයක් මිනිහාව බයිට් කලා ඇතුලේ සෙට් එකම ,

"ආ... පුෂ්පේ චිකන් පොතු ගේමුද..?" කියලා අහ අහා..

ඒ වෙලේට ඉතින් මිනිහා -  @#$%&#$@


Saturday, January 22, 2011

෴ ඉකි බිදින මගේ සිත ෴


 
යෝජනාවකින් සම්මත වී,
පෝරු මස්තකව
නුඹට බාර වී
දහස් ගණනක් පැතුම් පිරී
ඒ පලමු රාත්‍රිය
නුඹේ බේබදු මිතුරන්
නිසාවෙන් අහිමි වී 
ගිය සඳ
ඉකි බිදින මගේ සිත....!


Monday, January 10, 2011

෴ පාළුව෴



හැමදාම තරු පිරිලා
තියෙන අහසේ
අද එක තරුවක් අඩුයි
දහසක් තරු එළිය 
තිබුනත්,
එකම එක දීප්තිමත් තරුවක
එලිය නැතිව
මුළු අහසම
අමාවක රෑක වගේ 
අඳුරුයි.....

ප.ලි - හිටිගමන් ලොකු පාළුවක් තනිකමක් දැනුනා.... හිතට ආපුදේ තමා මේ..ගැලපීමක් නැද්ද මන්දා...

Saturday, January 1, 2011

෴ නව වසරට ආසිරි ෴


සියළු දෙනාටම සතුට,ආදරය පිරි,නිදුක් නීරෝගී,සියලුම සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..! 

මේ සතුට,ආදරය මේ අවුරුද්දට විතරක් සීමා නොවී හැමදාටම රැදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...! 

හැමෝටම ජයවේවා....!


පුංචි දෙයකුත් කියලාම යන්නම්...

හිතේ නැගෙනා දහසක් අදහස්
වචන කිහිපයක දවටා
කුරුටු ගෑ හසීගේ සිතිවිලි
50 වන සටහනත්
කුරුටු ගාමි තුටි සිතින්...



නම් වශයෙන් නොකිව්වත්, අද වෙනකම් මේ පැත්තට ඇවිත් කමෙන්ට් කරපු හැමෝමත්, මාව එයාලාගේම සහෝදරියක් කරගත්ත හසී පවුලේ අයියායි මල්ලිලා දෙන්නයි, ආපු ගියපු සියලුම සහෝදර සහෝදරියන්වත් ආදරයෙන් මතක් කරනවා..ඉදිරියටත් මගෙත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.. 


සියලුදෙනාටම හිස නමා ආචාර කරමින් මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා...!